Wednesday, September 19, 2012

අන්තිම මලක සුවඳ


එන්න 
විඳගන්න
අන්තිම මලක සුවඳ

මහා සුළඟකට හසුවී
ගිලිහී වැටුන අන් හැම මලම
අන්තිම වරට දුටු 
ජීවත්ව සිටිනා එකම මල

වැඩි කාලයක් නොමැත
නොපෙනේද අර එන කුණාටුව
ප්‍රමාදය සැමදාම
හේතුවේ පසුතැවිල්ලට

ඉතිරිවේ මහා හිස්කමක්
අන්තිම මලත් වැටුනු පසු
හිස් අහස් පසුබිමේ
අග හිස් අතු ඉති පමණක්

ඉතින් කුණාටුවට පෙරාතුව
එන්න විඳ ගන්න 
මේ අන්තිම මලේ සුවඳ
ප්‍රමාදය සැමදාම හේතුවේ පසුතැවිල්ලට

Sunday, August 5, 2012

පුංචි පිණි බිඳුව





පුංචි පිණි බිඳුව මට හමු වුනේ මහ කැලෑවකදි. මහා වැස්සක.., හොඳටම අකුණු ගගහ වහින වැස්සක පිණි බිඳුව තනි වෙලා හිටියා.මගේ ගෙදරත් ගොඩක් ඉඩ තිබුනේ නෑ. ඒත් මම පිණි බිඳුව ගෙදර එක්කගෙන ආවා.එක්කගෙන ඇවිත් ඉක්මනට කෑම ටිකක් හදලා දුන්නා.මොකද මට තේරුනා එයා ඉන්නෙ හොඳටම බඩ ගින්නෙ කියල.  ඊළඟ ප්‍රශ්නේ නිදා ගන්නෙ කොහෙද? මහා රළු විදිහට හදලා තියෙන මගේ ඇඳේ පුලුවන්ද පිණි බිඳුවකට නිදා ගන්න? මම තියෙන තරමක් රෙදි කෑලියි පරණ පත්තරයි ඇඳ රෙද්ද යටට දාල ඒක පුලුවන්තරම් සැප පහසු කරලා එයාට දුන්නා නිදා ගන්න. මම වීරයෙක් වගේ ඒ පොඩි කාමරය එයාට දීල පිළට වෙලා හිටියා සීතලේම. මට මේක හරි අමුතු අත්දැකීමක්.

උදේට ඉරපායන කොට පොරවත් අරගෙන කැලෑවට වදින මම අතිතරම් දර කපාගෙන ගෙදර එනවා. ඇවිත් ඔය මොනාහරි  කාලා නිදා ගන්නවා. හැමදාමත් එහෙමයි. ඉතින් මට මේක හරි පුදුමයක් නොවේද? මගේ ගෙදර පිණිබිඳුවක් නැවතිලා. ඒත් හෙට උදෙන්ම එයා යාවි. ඔහොම හිත හිතා ඉන්නකොට මට දන්නෙම නැතුව නින්ද ගියා. පහුවදා මම ඇහැරුනේ සීතල අතකින් මාව සොලවනකොට.  මෙන්න එයා  මට කෑම එකකුයි වතුර බෝතලේකුයි මගේ පොරවයි ගෙනත් දෙනවා.

මම ඒ ටිකත් අරගෙන ගෙදරින් එළියට බැස්සා. මම මොනවද කියන්නෙ? මොනවද අහන්නෙ? මුකුත් තේරෙන්නෙ නෑ. ඇයි මීටකලින් මට මෙහෙම දේවල් වෙලා තියෙනවද? එයා දොරකඩට වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා. මම ටිකක් වෙලා දැවටි දැවටි හිටියා මොකක් කරන්නද කියල හිත හිතා. ඊට පස්සෙ එයා මට අත වනලා දොර වහ ගත්තා. නිකන් එයාගෙ ගෙදර වගේ. මමත් වහපු දොරට අත වනලා පිටත් උනා.

 එදා කැලෑවට ගිහින් මම දර කපනවාට වඩා කලේ කල්පනා කරන එක. එයා මම එනකල් ගෙදර ඉඳීද? මොනාද එයාට මම ගෙනියන්නෙ? ඔය වගේ දේවල්. කොහොම උනත් මම එදා කලින් ගෙදර ආවා.

මම කැලෑවෙන් හොයා ගත්ත මල් මිටියකුයි පලතුරු ටිකකුයි ගෙදර ගෙනාවා. මම ගෙදර එනකොට ගෙදර දොර වහලා? එයා ගිහින් වත්ද? මම හිමීට දොරට තට්ටු කලා. කිසි සද්දයක් නෑ. එයා ගිහින් වගේ. මට දුකක් දැනුනා. අපරාදෙ මම ගෙනාපු මල් පලතුරු ටික. එකපාරටම කවුද  පිටිපස්සෙන් මගෙ ඇඟට පැන්න. මම හොඳටම බය වෙලා බිම වැටුනා. මෙන්න එයා.....? මාව බය කරන්නම හැංගිලා ඉඳලා.  එයා මහාලොකු හපන් කමක් කලා වගේ හිනා වෙනවා හොඳටම. මම හිනා වෙන්නෙ නැතුව එයා දිහාම බලන් හිටියා. ඇති තරම් හිනා වෙලා එයා ඊට පස්සෙ බිම වැටිලා තිබ්බ මල් පලතුරු ටික ඇහිඳගෙන ගෙට ගියා.මට මේ සේරම හරි අමුතු දේවල්. 

ඉතින් ඒ තමයි මම සතුටින් ම හිටපු දවස්.ඔය විදිහේ දවස් ගනනාවක් පහු වුනා. දවසක් නගරයට සර්කස් එකක් ආවා. මිනිස්සු හැමෝම සර්කස් බලන්න ගියා. ඉතින් මමත් පුංචි පිණි බිඳුව එක්කගෙන ගියා සර්කස් එක බලන්න.මිනිස්සු හැමෝම අපි දෙන්න දිහා බලන්න උනා. ඒ අය මීට කලින් පුංචි පිණි බිඳුවක් දැකල නැහැ වගේ. මටත් පොඩි ආඩම්බරයක් දැනුනා. සර්කස් එක හරි  විනෝදයි. එවගේම ත්‍රාස ජනකයි. අපි එදා ඇති තරම් සතුටු වුනා. සර්කස් කූඩාරමෙන් එළියට ආවම මට හිතුනා පිණි බිඳුවට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න. මම අයිස් ක්‍රීම් එකත් අරගෙන එනකොට දැක්ක කවුදෝ මහ ගොරෝසු පෙනුමක්  තියෙන  කෙනෙක් පිණි බිඳුවත් එක්ක කතා කරනවා. ඒ සර්කස් එකේ අයිතිකාරයා. "ඔබ කැමතිනම් මිස් ඕනෙම වෙලාවක මාව මුණගැහෙන්න.." .ඒ මිනිහා එහෙම කියලා මටත් නිකන් බොරු හිනාවක් දාල යන්න ගියා. මොනවද ඒ මිනිහා පිණි බිඳුවට කිය කිය හිටියේ? මට ලොකු ප්‍රශ්නයක්. "එයා ඇහුවේ සර්කස් එකට සම්බන්ඳ වෙන්න කැමතිද කියලා.." පිණි බිඳුව එහෙම කිව්වේ බිම බලාගෙන. එයාගෙ හිතෙත් ඒ ගැන කැමැත්තක් තියෙනවා කියල මට තේරුනා. "ඔයාට ඕනෙම නම් යන්න" . මම එයාට කැමැත්ත දුන්නා

එයා බොහොම සතුටු වුනා. එදා ඉඳන් අපි දෙන්නම ඒ සර්කස් එකේ සාමාජිකයො උනා. මගේ හය්ය හත්තිය තියෙන අත පය නිසා මාව පිණුම් ගහන්නයි තව එක එක අය උරහිස උඩ තියා ගෙන විවිද සංදර්ශන පවත්වන්නයි තෝර ගත්තා. ඒත් එක දෙයක් කියන්න ඕනෙ. මිනිස්සු වැඩි පුරම කැමති වුනේ මගේ පිණි බිඳුව ගේ සංදර්ශන බලන්න. එයා කිසි බයක් නැතිව ගිනි වලලු කරකවන ඒවයි ගිණි වලලු මැදින් පනින ඒවයි බලන්න මිනිස්සු ආස කරා. අපිට සල්ලිත් ගොඩක් ලැබුනා. මේ සංදර්ශන අතර තුර මට මගේ සුපුරුදු කැලෑ ජීවිතය මතක් නොවුනා ම නෙමෙයි.

 
ඒත් මගේ පිණි බිඳුව නිසා මම අකැමැත්තෙන් හරි දිගටම සර්කස් එකේ හිටියා. ඔන්න එක දවසක් සර්කස් එකේ අයිතිකාරයා අර ගොරෝසුවා අලුත්ම විදිහේ සංදර්ශනයකට මගේ පිණි බිඳුව පුහුණු කෙරෙව්වා. ගිනි වලලු නෙමෙයි ඒක ගිනි වලක්. ඊට උඩින් බැඳපු කම්බියක මගේ පිණි බිඳුව සමබරව ඇවිද යන්න ඕනෙ. ඒක හරි භයානක දෙයක්. මම තදින්ම විරුද්ධ උනා. ඒත් මගේ පිණි බිඳුව කැමැත්තෙන්ම ඒ සංදර්ශනය භාර ගත්තා. මම නම් ඒ දිහා බලන්නවත් කැමති වුනේ නෑ.

ඒ සංදර්ශනය සෑහෙන්න ජනප්‍රිය වුනා. මිනිස්සු එයාට ගොඩක් ප්‍රශංසා කලා. ඒත් එක දවසක් මහ භයානක දෙයක් වුනා. මගේ පිණි බිඳුව අර කම්බිය දිගේ ඇවිදිමින් හිටියා. මම කොහොමත් ඔය දර්ශනය බලන්නෙ නැහැ. මම හිටියේ සර්කස් මඩුව පිටි පස්සෙ. එක පාරටම මිනිස්සු කෑ ගහනව ඇහුනා. මම ඉක්මනට දුවලා ගියා. මිනිස්සු සේරම වල වටේට රැස් වෙලා. මම සෙනග පීරාගෙන වල ලඟට ගියා. ගින්දර නිසා මට මොකවත් පෙනුනේ නෑ. ඒත් මම යාන්තමට දැක්කා මගේ පිණි බිඳුව සර්කස් එකේදි ඔලුවට දාන පුංචි රිදී පාට ඔටුන්න.

මම ඒ ගිනි වල අයිනෙ බිම ඉඳගත්තා. මිනිස්සු හැමෝම මගේ පණ නැති අත අල්ලල  මට දුක ප්‍රකාශ කරලා යන්න ගියා. සර්කස් අයිතිකාරයා අර ගොරෝසුවා බොහොම බැරෑරුම් විදිහට කල්පනා කරමින් එහාට මෙහාට ඇවිදිමින් හිටියා. ගිනි වලේ එයා ගැන කිසි සලකුනක් තිබ්බේ නැහැ. ගින්දර නිවුනම මම දැක්කා අර පුංචි  ඔටුන්න උණු වෙලා රිදී ගුලියක් වෙලා තිබුනා.

මම ආයෙත් මගේ කෑලෑ ගෙදරට ආවා. එදා මුලින්ම මම මගේ පුංචි පිණි බිඳුව හොයාගෙන ආව දවසෙ ඉඳන් වෙච්ච හැම දෙයක්ම මට ආයෙත් මතක් වුනා. හරියට හීනයක් වගේ.මම ආයෙත් මගේ සුපුරුදු කැලෑවට වැදිලා දර කපන්න පටන් ගත්තා. කැලෑවේ ඇවිදිනකොට එදා මගේ පිණි බිඳුව වැස්සෙ තෙමි තෙමී හිටපු තැන මම දකිනවා. මම අදටත් ඒ දිහා බලනවා හදිසියේ හරි ආයෙමත් එයාව දකින්න ලැබෙයි කියලා.
ආයෙමත් මිනිස්සු නගරයට යන්න පටන් අරන්. නගරයට අලුත් සර්කස් එකක් ඇවිල්ලා.


Monday, March 26, 2012

බොහෝ කලකට පෙර

ලබන සතියේ මොනා වේවිද දන්නෑ රොබින් හුඩ් එකේ
හෙට ගණන් පංතිය හපෝයි ඉවරයි අනගි හවසම මගේ
ඉන්ටවල් එකේ වන් බම්ප් ගහන්න ගෙනේවිද අරූ බෝලෙ
ඉංග්‍රීසි සර් හෙට එන්නෙ නෑ හවස් වරුව දිගටම ෆ්‍රී එකේ 


හැදුවේ ගණන් බාගයයි මම කරනවා ඉතිරිය උදේ
කැටෙන් උස්සපු රුපියල් දෙකට මට දිවුල් ගැටයක් ගතහැකී
පංති හින්දා බලන්නත් නෑ තන්ඩර් කැට්ස් මට මේ සැරේ
ගලිවර් ඒකේ අර පොඩි කෙල්ල මට ලැබෙනවා නම් හරි අගේ

Sunday, February 5, 2012

මකර පොරය


මකරු ගොරවති දස අත
කා ගනිති උනුන් හා අහස් කුස
ගිණි සැරයෙන් වැටී ඇස් ගිණිකන
දනෝ තෝරති තම මකර තෙම

හදාදී පුදසුනක් රුවනින්
සදා කැවිලිද පෙවිලි රස බර
තබා දරු කැල පුද වට්ටි මත
පුදා ඉල්ලති සියලු සුර සැප

මකර තෙම ඉන් බොහෝ සැනහී
බුදා පුද දුන් බොජුන් රසකර
යොදා ගෙන දරු රථය ඇදුමට
යෙහෙන් වැජඹෙයි අරා නුබ ගැබ

කැවිලි සැදුමට නොමැත තව සවි
ලැබුනු සුර සැප කෙමෙන් වියැකී
රථය ඇදි දරු ගතින් දුබලව
හිස් ව අත මිට හිඳී සෝකව

මේ මකර තෙම ඉදින් වයසයි
ඒ නිසයි මේ සියලු දොම්නස්
යොවුන් මකරෙක් සොයා ගෙන අපි
යදිමු සැමගේ දෝස නැසුමට

මකර උතුමෝ අති කාරුණික
අවැසිය අපට මේ රන් දෙවොල
නව මකර තෙම ගෙනත් තැබුමට
බැස යන්න සොඳ හිටි මකර රජ


ඇසී දන ගේ මේ යැදුම් හඬ
කිපී ඝෝරව හිටි මකර තෙම
උනා සලු පිලි පැන අහස් කුස
පිඹී ගිණි සැර දනෝ හිස් මත

සොරෙන් ගෙන්වා නව මකර තෙම
යවා සවි දී මකර පොරයට
ඉවත විසි වන ගිණි පුපුරු මැද
දනෝ සවි දෙති මකර කුමරුට

ලද නිසා සවි මකර කුමරුන්
ජය ලබා ගෙන මකර පොරයෙන්
උදම් වී ජය ප්‍රීති ගොස මැද
වඩී දෙවොලට අසිරි ලබමින

ඉතින් යළි දන සදා කැවිලිද
සොයා ගෙන පුද පඬුරු කාසිද
ඉතිරි දරු කැල පුදා සතොසින
යදිති දෙන ලෙස යළිත් සුර සැප